Thursday, November 14, 2013
මල්වඩම් අනවශ්‍යයි මන්න දෙකක් අවශ්‍යයි
අතීතයේ කසිප්පු ටිකක් බීගෙන කඩු, ටියුබ් ලයිට්, යකඩ පොලු ගෙන ගමේ රජකළ ආරිලා, පාලලා, ඇලෝසියස්‌ලා සහ උක්‌කුවලා වැනි ගං චණ්‌ඩින්ගේ යුගය මෙරට පාදඩ සංස්‌කෘතියේ ආරම්භය ලෙස අද ඉතිහාසයට එක්‌ව තිබෙන්නකි. එම ඉතිහාසයේදී මෙකී ගං චණ්‌ඩින් කළේ කසිප්පු හෝ ගංජා ටිකක් විකුණමින් තමන්ගේ ආදායම සරි කර ගන්නා අතරේ තමන්ට එරෙහිව ගමේ කිසිවකු හෝ නැගී සිටියහොත් ඔහුට අතපය කැඩෙන්නට ප්‍රහාරයක් එල්ල කර චණ්‌ඩි කමින් ගම වැනසීම විය. එහිදී එම පාදඩයන්ගේ ශාපය බලපෑවේ ගං චණ්‌ඩියා ජීවත් වූ ගමට පමණකි. නමුත් නින්දිත ලෙස සිදු කෙරුණු මිනිස් ඝාතන, ස්‌ත්‍රී දූෂණ කොල්ල කෑම් ආදී නරුම දේ මගින් එකී යුගයේදී ගම හෝ සමාජය ඔත්පල නොවීය.
එහෙත් කාලයත් සමග ගමේ රජ කළ මෙකී ගං චණ්‌ඩින්ගේ යුගය නිමාවට පත්කරමින් පසුකලෙක කරලියට ආවෝ නගරන්කාරයෝ වූහ. මෙසේ නගරන්කාරයන් කරලියට පැමිණීමත් සමග ගං චණ්‌ඩින්ගෙන් සිදු වූවාට වඩා වැඩි පීඩනයක් මෙරට සාමාන්‍ය ජන සමාජය වෙත දැනෙන්නට වූයේ නගරන්කාරයන් කළ කී දැ ගමේ චණ්‌ඩින්ගේ වැඩවලට වඩා ඉදිරියෙන් තිබූ බැවිනි.
මීට දශක තුන හතරක ඉතිහාසයට අයත් චීනා, චොප්පේ, දිගා පියදාස, හාබර් මාටින්, අග්ගොන චන්දරේලා ආදීන මෙරට පාදඩ සංස්‌කෘතියේ ඔටුනු දරා සිටි යුගය දෙස විමසා බැලීමේදී එය මැනවින් පැහැදිලි වන්නකි. ගමේ චණ්‌ඩියා අත වූ කඩුව සහ පොල්ල වෙනුවට ගල්කටස් එක, ඩප්පිය මාමයිට් කුප්පිය නගරන්කාරයෝ අත වූහ. ඔවුහු එකී අවි මගින් ගං චණ්‌ඩියාට එහා ගිය සමාජ විරෝධී නරුම දේ බොහෝ කළහ. මිනිසුන් උපයා ගත් දේ කොල්ල කෑවේය. එහිදී ඉඳ හිට මිනිස් ඝාතනද සිදු කරන්නට විය.
අතීතයේ මෙසේ ගං චණ්‌ඩින්ගෙන් ඇරඹී දෙවන අදියරේ දී නගරන්කාරයන් ඔස්‌සේ ඔඩු දුවමින් මෙරට සාමාන්‍ය ජනසමාජයට වින කළා වූ මෙකී පාදඩ සංස්‌කෘතිය අද වන විට නතර වී තිබෙන මානය කුමක්‌ද? ගෝනවල සුනිල්ලාගේ සිට තුන්වන පරම්පරාවක් ඔස්‌සේ පැමිණ සොත්ති උපාලි, තුම්මුල්ලේ පද්මේ, කොම්පඤ්ඤවීදියේ ඩේලු, නාවල නිහාල්, නොයෙල් අමරසිංහ වැන්නන් තුළින් අධිපෝෂණය වූ එය අද ඇත්තේ කුප්‍රකට පාතාල ලෝකය නමින් සියල්ල වනසන මහා ගිනි කන්දක් සේ මෙරට ජනසමාජය තුළ නිධන්ගතවය.
මෙසේ අතීත පාදඩ සංස්‌කෘතිය පාතාලය ලෙස වැඩි වර්ධනය වීමේ කතාවේදී අනිවාර්යයෙන්ම පිළිකුලෙන් යුතුව සිහිපත් කළ යුතු පාර්ශ්ව කිහිපයක්‌ද වේ. ඉන් පළමු වැන්න වන්නේ තිස් වසරක් පුරාවට මේ බිම වනසා අභාවයට ගිය ප්‍රභාකරන්ගේ එල්ටීටීඊය ය. ඊළඟට ඇඟිල්ල දිගු කිරීමට සිදු වන්නේ 1977 බලයට පැමිණ ලාම්පු-කළගෙඩි හරහා අසීමිත බලයක් ගෙන 17 වසරක් මේ රට කරවූ එක්‌සත් ජාතික පක්‍ෂයේ ඡේ.ආර්. ජයවර්ධන සහ ප්‍රේමදාස රජයන් වෙතය. එසේ කීමට සිදුව ඇත්තේ සියල්ල මර්දනයෙන් යටපත් කිරීමේ කලාව තුළ හිඳමින් බයිසිකල් ෙච්න් එකේ සිට නවීන ගිනි අවි දක්‌වා අතට ගෙන සිටි නරුමයන් වටකරගෙන ජයවර්ධන සහ ප්‍රේමදාස රජයන් සිය ගමන ගිය සර්පයන්ට කිරි පෙවීමේ න්‍යාය පිළිබඳ අතීතය සාක්‍ෂි දරන බැවිනි.
එම කෙටි අතීතයේ ජයවර්ධන සහ ප්‍රේමදාස රජයන්හි මර්දනයට පිළියම් ලෙස නිස්‌සාර ගමනක් යමින් රටට නාඳුනන තුවක්‌කු සංස්‌කෘතිය හඳුන්වා දුන්නා වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රධාන ජනතා විමුක්‌ති පෙරමුණටද අපේ පිළිකුල් සහගත සිහි කිරීමෙන් ගැලවී යා නොහැකිය. ඡේ. ආර් ජයවර්ධන රජයෙන් රටට දායාද කෙරුණු විධායක ජනපති ක්‍රමයත් සමග සියල්ල උඩු යටිකුරු කරමින් ජනපති පොදු සමාවක් (සුනිල් සමාව) මත හිරෙන් නිදහස්‌ව යන ගෝනවල සුනිල්ගේ සිට සොත්ති උපාලිලා, තුම්මුල්ලේ පද්මෙලා, නාවල නිහාල්ලා ඔටුනු දැරූ නින්දිත පාතාලය රට තුළ දරුණු ලෙස හිස ඔසවන්නේ 1987-88 සමයේ ජනතා විමුක්‌ති පෙරමුණ ගිය නිස්‌සාර ගමනේ ප්‍රතිඵලයක් ලෙසින් බව මෙහිදී අමුතුවෙන් කිව යුතු නැත.
මේ සමගම සිදුවූ තවත් සුවිශේෂී දෙයක්‌ද විය. ඒ අතීතයේ කසිප්පු වඩිය ජීවිකාව කරගත් ගමේ චණ්‌ඩියාගේ භූමිකාව පාතාලයා දක්‌වා වර්ධනය වීමත් සමග පාතාලයා කසිප්පු වඩිය වෙනුවට රට වනසන මත්කුඩු ජාවාරම සිය ජීවිකාව කර ගැනීමය.
ඉනුත් නොනැවතුන මෙකී නරුමයන් අතැති අවිබලය සමග කුලී මිනිස් ඝාතන, කප්පම් ගැනීම, මහා පරිමාණ කොල්ලකෑම් ආදිය අවශේෂ ව්‍යාපාරයන් කර ගන්නා අතරේ ගණිකා ව්‍යාපාරය ආදියටද නැඹුරු වෙමින් ස්‌ත්‍රී දූෂණවලද යෙදුනේ ගත කරන උන් ජීවිතයට අතුරුපස සොයන්නාක් මෙනි. ජයවර්ධන රජය වක්‌කඩ කැඩුවා සේ විවෘත කරනු ලැබූ රටේ ආර්ථිකයත් සමග මේ බිමට ළඟා වූ අනේක විධ දහ ජරාව සමග හෙරොයින් මාරයාද රටට ඇතුළුවීම එහිදී පාතාලයනට මහා කප්රුකක්‌ම වූහ. එතැන් පටන් මත්කුඩු ජාවාරමත් පාතාලයත් යනු දෙකක් නොව එකක්‌ම විය.
රටටත් සමස්‌ත සමාජයටත් පිළිලයක් වෙමින් මෙසේ බිහි වූ නරුම පාතාලය තුළ පසුගිය කාලයේ සිදු වූ දේද බොහෝ වේ. ඉන් ප්‍රබලම සිදුවීම වූයේ පාතාල ඔටුන්න සොයා යමින් ධන උල්පතක් වූ මත්කුඩු ව්‍යාපාරයේ "තනි අලියා" වන්නට පාතාලයන් අතර ඇතිවූ එකිනෙකා මරා ගැනීමේ සටන වේ. මෙකී සටනේදී පාතාල භාෂාවෙන් කියතොත් යකඩ කෑල්ලට (ගිනි අවියට) හෝ මන්නා ප්‍රහාරයකට ගොදුරු වී ඇඩ්ඩ්‍රස් නැති ලෙස "මල්වඩම් අනවශ්‍යයි මන්නා දෙකක් අවශ්‍යයි" යන න්‍යායෙන් පරලොව ගියෝ කවරහුද? ඒ පාතාලයේ ඔටුනු සොයා ගිය පාතාලයෝම වූහ.
නමුත් පාතාලයන් එසේ පරලොව ගියද එකී සටන් හමුවේ සමස්‌ත සාමකාමී ජනතාවට සිදුවූ ව්‍යසනය නම් සුළුපටු නොවිනි. එය මෙරට ජනසමාජය භීතියෙන් සලිත කරවන්නක්‌ම වී තිබිණ.
-දිවයින-
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment