"මම මහරගම කළු තුෂාර.... මට රුපියල් ලක්‍ෂ දහයක් ඉරිදාට ඉස්සර ඕනේ....."
පසුගියදා මහරගම පරණ පාරේ ව්‍යාපාරිකයකුට ලැබුණු දුරකතන ඇමැතුමකින් එසේ කියැවිණි. එය ඇසූ සැණින් ව්‍යාපාරිකයා තුළ මහත් බියක් ඇති විය. "කළු තුෂාර" යනු ඉතා දරුණු අපරාධකරුවකු බව ඔහු අසා තිබිණි. ඒ නිසාම ඔහු පාතාල සාමාජිකයන් ළඟින් ඇසුරු කරන හිතවතකු සොයා ගියේය. "මම දන්න විදිහට නම් ඔය විදියට තුෂාර අයියා කතා කරන්නේ නැහැ...." කතාව ඇසූ ව්‍යාපාරිකයාගේ මිතුරා එසේ කියමින් කිසියම් මාර්ගයකින් සිරගෙදර සිටි කළු තුෂාර හා සම්බන්ධ වී සිද්ධිය පවසා ඔහු හා කතා කිරීමට ව්‍යාපාරිකයාට අවස්ථාව ලබාදුන්නේය. ඔහුගේ කතාව ඇසූ තුෂාර එම ඇමැතුම ලද දුරකතන අංකය ඉල්ලාගෙන ඊට විනාඩි කිහිපයකට පසු ව්‍යාපාරිකයා ඇමතුවේය. "බය වෙන්න එපා මුදලාලි, උෟ මගේ නම විකුණන්න හදලා.... මං උෟට දෙකක් කතා කළා...."
පාතාලය තුළ මෙවැනි දේ බොහෝ විට සිදුවේ. ප්‍රසිද්ධියක් ලැබූ ගණන්කාරයන්ගේ නම් විකුණා කප්පම් ගැනීම් එහිදී බොහෝ විට සිදුවේ. හැම දෙයක්ම අලෙවි වන සමාජයක අපරාධවලට සම්බන්ධ පුද්ගල නාමයන් පහසුවෙන් අලෙවි කර මුදල් ඉපැයිය හැකිය. අප මේ සිදුවීම පළ කරනු ලැබුවේ "කළු තුෂාර" "සුදු තුෂාර" කෙනෙක් කිරීමේ චේතනාවකින් නොවේ. යකා ඔය කියන තරම් කළු නැති බව හැඟවීම පිණිසය. තුෂාරද මෙලොව බිහි වූයේ තවත් රත්තරන් දරුවකු ලෙසිනි. එහෙත් නැවතුණේ දරුණු අපරාධකරුවකු ලෙස පාතාල ලෝකය තුළ කිරුළු පලඳවමිනි. තුෂාර අධ්‍යාපනය ලැබූ මහරගම එක්තරා විද්‍යාලයක ජනප්‍රිය ගුරුවරයකුව සිට විශ්‍රාම ගිය ඩබ්ලිව්. ඒ. විමලරත්න මහතා අපට පැවැසුවේ මෙවැනි අදහසකි.
"තුෂාර කියන්නේ ඉගෙනීම බැරි ළමයෙක් නොවේ. ඔහු ක්‍රීඩාවෙනුත් දස්කම් දැක්වූවා. පාසල් හොකී කණ්ඩායමද නියෝජනය කළා. කරාටේ ක්‍රීඩාවද කළා. මේ දරුවා ළඟ පොඩි දඟකාරකමක් තිබුණා. දඟකාර ළමයා හැම වෙලාවේම නිරෝගී ළමයෙක් බවයි කියන්නේ. අපි ඒ දඟකාරකම නිසි මඟට ගන්න ඕනේ. අන්න එතන තමයි ළමා සංවර්ධනය රැඳී තිබෙන්නේ.
"මට මතකයි ඒ කාලයේ ඔය දරුවා පාසලේම ඉගෙනුම ලැබූ ඉන්දික කියන දරුවත් සමඟ පාසලේ ඉගැන්වූ ගුරුවරයකුට පහර දී තිබුණා. ඒ ඉන්දික තමයි පසු කලෙක "ඇට ඉන්දික" ලෙස පාතාලයේ ප්‍රකට වී අකාලයේ මිය ගියේ. අපි එදා ගුරුවරුන් ලෙස එම පහරදීම පිළිබඳව බොහොම උපේක්‍ෂාවෙන් බැලුවේ. එය ළමුන්ගේ දඟකාරකමක් විදිහට බලා සිත නිවැරැදි මඟට යොමු කරන විදිහට කටයුතු කළා. ඔවුන් පාසල තුළ කොන් කිරීමකට ලක් කළේ නැහැ." තල කෑ කුමාරයාට දඬුවම් කළ දිසාපාමොක් පරම්පරාවේ සාමාජිකයෙක් ලෙස විමලරත්න මහතා ඉතා සන්සුන්ව ප්‍රකාශ කළේය. තුෂාර චන්දන නම් එම සිසුවා නොමඟ ගිය හැරවුම් ලක්‍ෂ්‍යය පිළිබඳව අපට විස්තර කළේ ඔහුගේ පියා වූ ටී. එන්. රනික් මහතාය.
"මගේ පුතාට කුඩා කාලයේ ඉඳන් පොඩි දඟකාර ගතියක් තිබුණා. තුෂාර දහවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී මහරගම නාවින්න ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් බලන්න ගියා. එතනදී මෙයා එක්ක ගිය උපුල් කියන යාළුවා හමුදාවේ සිවිල් ඇඳුමින් සැරසුණ පිරිසක් සමඟ රණ්ඩුවක පැටලී තිබෙනවා. එහිදී තුෂාරද මේ පිරිසට පහර දී තිබෙනවා. මේ අරගලයෙන් පස්සේ පොලිසිය තුෂාර කියන පාසල් දරුවා උසාවි යවා රිමාන්ඩ් බාරයට පත් කළා. සති කිහිපයක් සිර ගෙදර සිට පිටතට පැමිණියේ සම්පූර්ණයෙන්ම වෙනස් වූ "තුෂාර කෙනෙක්"."ඊට පස්සෙ මගේ පුතා හමුවෙන්න රටේ නම ගිය අපරාධකාරයෝ නිතර ආවා ගියා. පුතත් ඔවුන් සමඟ ගමන් බිමන් ගියා. සිරගත වූ නිසා එයාට පාසල් යන්න ලැජ්ජා හිතුණා. එයා ටිකෙන් ටික නරක ආශ්‍රයට ඇදිලා ගියා. ආයුධ, මුදල්, නරක මිත්‍රයෝ එයාට ඕනෑ තරමටත් වඩා ළං වුණා.... ගෙදර අපට එයාව පාලනය කරගන්න අමාරු වුණා..." "මේ ළමයා වරදක් කළා නම් පොලිසියට සහ උසාවියට තිබුණා එයාව ළමා බන්ධනාගාරයකට දාන්න. එහෙම වුණා නම් මේ දරුවාට තමන්ගේ වයසට නොගැළපෙන මිතුරන් මුණගැසෙන්නේ නැහැ..." ඔහු දෑසේ කඳුළු පුරවාගෙන ප්‍රකාශ කළේය.
මහරගම තුෂාරගේ ගම් ප්‍රදේශය වුවද දේහය තැන්පත් කර තිබුණේ කොට්ටාව ෙදාලේ කඩේ ප්‍රදේශයේ නිවසක් තුළය. එහි පැමිණ සිටි විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් අපට අදහස් දැක්වීමට ඉදිරිපත් වූයේ සිය අනන්‍යතාව හෙළි නොකිරීමේ එකඟතාව මතය. "තුෂාර ළඟ හොඳට කෙළෙහිගුණ දක්වන ගතියක් තිබුණා. අපරාධකරුවන් රැසක් ඇසුරු කළ මම ඔහුගේ ඒ ගතිගුණයට ගරු කරනවා. මගේ අත්දැකීම අනුව කිසිම අපරාධකරුවකු තමන්ට අවවාද කරනවාට කැමැති නැහැ. තුෂාරටත් ඒ ගතිය තිබුණා. එයා කිසි කෙනෙකුට දෙවැනි වෙන්න කැමැති වූයේ නැහැ. ඒ දුර්වලතාව නිසා වැඩිය උස මහත නොවූ තුෂාර හැඩි දැඩි අපරාධකරුවන් ඉදිරියේද පස්සට ගියේ නැහැ...."
"ලංකාවේ හිර ගෙදරකට ගිය මිනිහෙක් පාතාලය වෙත ළං වෙනවා මිසක් හොඳ මිනිහෙක් වෙන්නේ නැහැ. ඒ වාගේ පරිසරයක් සිර ගෙදර තුළ නැහැ. ඒ වගේම ලොකු මහත්තුරු කියන්නේ මොකක්ද "කෝ නඩු....? අයිසේ පුළුවන් තරම් නඩු ගේනවා" කියලා. ඉතින් අපේ පොලිස් නිලධාරීන්ද පුළුවන් තරම් නඩු එකතු කරන්න හදනවා මිසක් අපරාධකාරයෝ නොමැති සමාජයක් බිහි කරන්න හදන්නේ නැහැ...." "තරුණ බිරියක්, පුංචි දරුවෙක් ඉන්න තුෂාර ලස්සන ජීවිතයක් ගත කරන්න හරියට සිහින මැව්වා. ඒත් මේ පරිසරය ඔහුට ඒ සිහින සැබෑ කරගන්න ඉඩ දුන්නේ නැහැ." අපරාධ ලෝකය පිළිබඳව හසළ අත්දැකීම් ඇති එම පොලිස් නිලධාරියා සැබෑ ලෙසම "කළු තුෂාර" කවුද යනුවෙන් නිවැරැදිව හඳුනාගෙන තිබුණු බව ඔහුගේ කතාවෙන් හෙළිවුණි.
විශ්‍රාමික පොලිස් නිලධාරියා සඳහන් කළ බිරිය "තිළිණි" සමඟ ඉන්පසු අපි කතා කළෙමු.
"එයා මගේ තාත්තාගේ ඥාතියෙක්. ඒ ඥාති සම්බන්ධය නිසා අපි හමුවුණා. මට නම් එයා කවදාවත් අපරාධකාරයෙක් විදිහට පෙනුණේ නැහැ. එයා දෙවියන්, යන්ත්‍ර ගුරුකම්, අපල කාලයන් ගැන දැඩි ලෙස විශ්වාස කළා. සැමියෙක් විදියට මට එයා හුඟාක් ආදරය කළා."
"එයාට මේ සමාජයෙන් මිදෙන්න ලොකු වුවමනාවක් තිබුණා. එක් අවස්ථාවක අපි දෙන්නා මේ ඔක්කොම දමලා ගහලා බණ්ඩාරගම ප්‍රදේශයට ගිහින් පදිංචි වුණා. පොඩි ලොරියක් අරගෙන එයා එහි ගඟක වැලි පැටවීම සිදු කළා. දහඩිය මහන්සියෙන් සල්ලි උපයාගෙන අපි ලස්සන ජීවිතයක් ගත කළා."
"එහෙම ඉන්න කොට දවසක් එයා සිරගෙදරදී හඳුනා ගත් මාතර පැත්තේ මිතුරෙක් එයාගේ නෝනා එක්ක අපේ ගෙදර හොයාගෙන ආවා. එයාගේ බිරිය ගැබ්ගෙන තිබුණ නිසා මමයි තුෂාරයි ඒ දෙන්නට ගෙදර ඉන්න කියලා, අපේ දරුවත් සමඟ ලොරියේ ගිහින් චයිනීස් හෝටලයකින් කෑම අරගෙන ආවා."
"එනකොට පොලිසිය ගෙය වට කරලා තිබුණා. අර යාළුව ළඟ මත් කුඩු පාර්සලයක් තිබුණ නිසා ඔහු අත්අඩංගුවට ගත්තා. අපේ ගෙදර හිටිය නිසා තුෂාරවත් අත්අඩංගුවට අරගෙන නඩු පැවරුවා."
"ඔය හිර ගෙදර අරගලය වූ දවසේත් ඒ මත්කුඩු නඩුව ඇසුවා. එදා නඩුව දහතුන් වැනිදාට කල් ගියා. ඒ වෙලාවේ තුෂාර මාවයි පුතාවයි බදාගෙන ඇඬුවා. මගේ පුතාගේ අතේ පල¼දා
"ඔය හිර ගෙදර අරගලය වූ දවසේත් ඒ මත්කුඩු නඩුව ඇසුවා. එදා නඩුව දහතුන් වැනිදාට කල් ගියා. ඒ වෙලාවේ තුෂාර මාවයි පුතාවයි බදාගෙන ඇඬුවා. මගේ පුතාගේ අතේ පල¼දා
තිබූ රබර් බේ්‍රස්ලට් එක ගලවා ගෙන එයාගේ අතට දා ගත්තා. ඒ රබර් බේස්ලට් එක පහුවදා එයාගේ මළ සිරුර බලන කොටත් අතේ තිබුණා" ඇය කඳුළු සලමින් අපට ප්‍රකාශ කළාය. ජාතන්තර පාසලක අධ්‍යාපනය ලබන කළු තුෂාරගේ පුත් ආදිත්‍ය සිය මව අසල සිටි නිසා ඔහුගෙන් සිය පියා පිළිබඳව අපි විමසුවෙමු. දස හැවිරිදි ආදිත්‍ය හඬා වැලපුණු ලකුණු මුහුණෙන් පළ වුවද ඒ මොහොතේ හඬමින් සිටියේ නැත.
"තාත්තා එදා නඩුව දවසේ මගේ අතේ තිබූ රබර් පටිය එයාගේ අතට දා ගත්තා. දෑස් දෙකේ කඳුළු පුරවාගෙන මාව බදාගෙන ඉම්බා. ඉක්මනට නිදහස් වෙලා මාවයි අම්මවයි බලන්න එනවා කියලා කිව්වා."
මහරගම පමුණුව රෙදි ව්‍යාපාරයට සම්බන්ධව සිටි තුෂාරගේ පවුලේ සහ ඥාති මිත්‍රාදීන්ට විශාල මුදල් අහේනියක් තිබුණේ නැත. ඔවුහු සාමාන්‍ය මට්ටමේ මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරමින් සිටිති. ජනාධිපති විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්යවරයකු වූ විමලරත්න මහතා ප්‍රකාශ කළ ආකාරයෙන්ම දඟකාරකම නිරෝගිකමේ ලක්‍ෂණයක් නම් "තුෂාර නමැති දඟකාර තරුණයා" අරගලයක පැටලුණ පමණින් දරුණු අපරාධකරුවන් සිටින බන්ධනාගාරයකට යොමු නොකර තරුණ විශෝධනාගාරයක් වෙත යැවීමට කටයුතු කළේ නම් මේ තරුණයා අපරාධකරුවකු නොවී රටට කීර්තියක් අත්පත් කර දෙන හොකී ක්‍රීඩකයකු වීමට බොහෝ ඉඩකඩ තිබිණි.
තරුණයන් සඳහා යහපත් හෙටක් නිර්මාණය කිරීමට කටයුතු කරන විද්වත් සමාජයේ අවධානය මෙවන් නොමඟ ගිය තරුණ ජීවිත කෙරෙහි යොමු වන්නේ නම් හෙට දිනය සැබෑ ලෙසින්ම යහපත් හෙටක් කර ගත හැකිය.
No comments:
Post a Comment